ගුවන්තොටුපොළ හෙට සිට විවෘතයි | Ceylon Britannia

සංචාරකයන් සඳහා හෙට (21) සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.

මේ වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් ලබාගත් අත්දැකීම් හා අඩුපාඩු හඳුනාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවි.

කොවිඩ් වසංගතය පාලනය කර ගත නොහැකි වීම නිසා යුක්රේන රාජ්‍යය වසා දමා තිබිය දී ශ්‍රී ලංකාවට එරටින් සංචාරකයන් ගෙන්වීම නිසා යම් අනතුරුදායක තත්ත්වයක් රට තුළ ඇති වූවා නේදැයි මාධ්‍යවේදියකු මෙහිදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවසුවේ, එරටින් පැමිණි සංචාරකයන් 1500ක පමණ පිරිසෙන් කොවිඩ් ආසාදිත බවට පත්ව සිටියේ හතරදෙනකු පමණක් බවත්, කිසිදු අවස්ථාවක ඔවුන්ගෙන් සමාජයට රෝගය බෝවීමක් සිදුනොවූ බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් ය.

එසේම, ගුවන්තොටුපළ විවෘත කර සංචාරකයන් මෙරටට ගෙන්වීම සඳහා පාවිච්චි කෙළේ ද මෙම අත්දැකීම බවත් ඇමැතිවරයා පැවසීය.

යුක්රේනය සම්පූර්ණයෙන් වසා දැමුණු රටක් නොවන බවද ඇමැතිවරයා කීය.

2020 මාර්තු 19 වැනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ වසා තිබුණා. ජනවාරි 21 වැනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ජාතික වගකීමක් හා යුතුකමක් මෙන්ම, විශේෂයෙන්ම මේ රටේ ජාතික ආර්ථිකයට බලපාන කරුණක්. සංචාරක ක්ෂේත්‍රයෙන් ඍජුව හා වක්‍රව ජීවත්වන මිලියන 3ක කණ්ඩායමක් මේ රටේ සිටිනවා. ඒ අය වෙනුවෙන් ගත් සාධනීය පියවරක් ලෙස මෙය සලකන්න පුළුවන්.

කොවිඩ් කමිටුවේ අනුමැතියට යටත්ව, සෞඛ්‍ය අංශවල උපදෙස්, චක්‍රලේඛ හා මාර්ගෝපදේශ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කර තිබෙනවා.

දෙසැම්බර් මාසයේ මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා. එයින් ලබාගත් අත්දැකීම් හා අඩුපාඩු හඳුනාගෙන මෙය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. මෙමඟින් අප මූලිකව බලාපොරොත්තු වෙන්නේ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් රෝගය බෝනොවන තත්ත්වයක් යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි. නියමු ව්‍යාපෘතියට වඩා ලිහිල් නීතිරීති යටතේ තමයි මෙහිදී කටයුතු කරන්නේ.

මේ මස 21 වැනිදා ගුවන්තොටුපළ විවෘත කරනවිට වෙළෙඳ, මගී හා පෞද්ගලික ගුවන් යානාවලින් මෙන්ම, නැව්වලින් පැමිණෙන සංචාරකයන්ටත් රට විවෘත කෙරෙනවා. සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව පුරවැසිභාවය තිබෙන අය මෙන්ම, මෙරට පදිංචිව සිටීම සඳහා වීසා ලබා තිබෙන විදේශිකයන්ට මේ හරහා පැමිණීමට හැකියාව ලැබෙනවා. මේ හැම කෙනෙක් ම එන්න පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් රැගෙන ආ යුතුයි. ඒ වගේම, ලංකාවට පැමිණි වහාම හෝටලයට යෑමට පෙර තවත් පී.සී.ආර්. එකක් කර ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පෞද්ගලික රෝහල් හා රසායනාගාරවලින් තමයි මේ පරීක්ෂණ කරන්නේ. එසේ කර උපරිම පැය 36ක් ඇතුළත වාර්තාව ලැබෙනවා. එතෙක් ඒ අයට අපි උපදෙස් දී තිබෙනවා හුදකලාව සිටින ලෙස. ඒ අය රැඳී සිටින හෝටල් කිසිම වේලාවක අපේ සමාජයත් සමඟ ගැටෙන්නේ නෑ. ඒවා ඒ අයට ම වෙන්කළ හෝටල් බවට පත් වෙනවා. එම හෝටල් හඳුනා ගැනීම පසුගිය කාලසීමාවේ අපි හඳුනාගෙන තිබෙනවා. ඒවායේ නම් අපි වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. වීසා එකටත්, පී.සී.ආර්.පරීක්ෂණ දෙකකටත්, රක්ෂණයටත් මුදල් ගෙවා ඒ අය ලංකාවට එන්න ඕනෑ. පැමිණි පසු අවසානයේ දින පහත්, හතත් අතර පී.සී.ආර්. වාර්තාවක් ලබා ගන්නවා. ඉන් පසු සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි අවශ්‍ය නම් තුන්වැනි පරීක්ෂණයකට යන්න පුළුවන්. දැනට ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන එනවිටත් පී.සී.ආර්. වාර්තාවක් ගන්නවා. එසේ පැමිණ දින පහත්, හතත් අතර තවත් වාර්තාවක් ගන්නවා. පසුව දින දහයකට පසු තීන්දු ගන්නවා. මේ සංචාරකයන්ටත් ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා මම හිතනවා මෙය ඉතාම සාධනීය පියවරක් ලෙස. රටක් ලෙස මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

සිතාරා සේනානි

#PresSL #lka #CeylonBritannia

 8,936 total views,  2 views today

Loading...