ජනතාව ජීවත් කරවීම යුද්ධයක්: ඒ වගකීම මා භාර ගන්නවා – ජනපති | Ceylon Britannia

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ඊයේ (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. “රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටලු සවිඥානිකව අවබෝධ කරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ සෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමට රාජ්‍ය ආයතන දිගු කාලයක් ගන්නවා.

ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිවරයා නියෝග කළේය.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නේය.

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඕව්හු සඳහන් කළහ. අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නියෝග කළේය.

සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුළ සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ. වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිවරයා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ගෝෂා කරමින් පැවසූහ.

කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිවරයා ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටලු රැසක් ජනාධිපතිවරයා විසඳුම් මගට යොමු කරනු ලැබීය.

කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්, හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිවරයා නියම කළේය. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයකු පත් කිරීමට, සොරගුණේ සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරිණ.

ආබාධිත රණවිරුවකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මහතා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළේය. කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

#PresSL #lka #CeylonBritannia

 10,450 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *